උතුරු ඇමෙරිකාවේ ඇති පංච මහා විල් අතරින් 4 ක කොටස් කැනඩාවට අයිති වෙනවා . මේ සටහනෙන් මම උත්සාහ කරන්නේ ලෝකයේ පිරිසිදු මිරිදිය පිරුණු විශාල විලක් වන හියුරන් විල ආශ්‍රිත තැන් කිහිපයක් ගැන කථා කරන්නයි. නිදහසේ එළිමහනේ ගතකරන්නට පුළුවන් ගිම්හාන කාලයට ගුල්වලින් එලියට ඇදෙන සත්තු වගේ නගරවල නිවාස වලට ගුලි ගැහුණු පිරිස් හොදම තැනක් හොයාගෙන සති අන්තවලට මේ විල්තෙර වලට යන්නෙ අපි වගේමයි .
දසත සංචාරයක මතකය මේ වෙනකොට පුරා අවුරුදු 5 ක් ඔබව විවිධ ඉසව් රැසක මතකයන් දිගේ දිගු ගමනක් ගිහින් තිබෙනවා . කැනඩාවේ රොකී කදුවැටිය වටා ගිය ගමනටත් , ඇමෙරිකාවේ Grand Canyon වටා ගිය ගමනටත් ඉතා ඉහල ප්රතිචාර ලැබුණා . කැනඩාවේ බටහිර කොනේ වැන්කුවර් දූපතට ගිය අයත් , නැගෙනහිර කොනේ එඩ්වඩ් කුමාර දිවයිනට ගිය අයත් වගේම , ඇමෙරිකාවේ ඩිස්නි ලෝකය , නාසා , නිව්යෝර්ක් , වොෂින්ටන් , බොස්ටන් , ලොස් ඇන්ජලීස් නගර සංචාරය කල අයත් දැක්වූ අදහස් දසත අගය කරනවා . ඒ වගේම පැරීසියේ සංචාරක මතක සැබැවින්ම අත්විදි අය අප කල උත්ප්රේරණය වෙනුවෙන් ස්තූතිය පල කර තිබුණා . තවත් සමහරු කියල තිබුනෙ තවමත් ලංකාවේ පවුල් වෙනුවෙන් තියෙන කැපවීම් හින්ද වාර්ෂිකව ලංකාවට යනව මිසක් වෙනත් සංචාර සදහා ආයෝජනය කරන්න තරම් මුදලක් අතේ ඉතිරි වෙන්නෙ නැහැ කියල . මේ ඒ පිරිස වෙනුවෙන් ලියැවුණු ලිපි ගොන්නට වැටෙන තවත් එකක්.
ටොරොන්ටෝ නගරයේ ඉදන් පැය 2 ක දුර රථ ධාවනයකින් ඔබට හොද විල් තෙරක් හොයාගන්න අමාරු නැහැ
හියුරන් විල ( Lake Huron)
භූ විද්‍යාත්මකව එය පිහිටා තිබෙන්නේ උතුරින් සහ නැගෙනහිරින් කැනඩාවේ ඔන්ටාරියෝ පලාතට සහ බටහිරින් සහ දකුණු දෙසින් ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයට මායිම්වයි. එයට හියුරන් කියන නම ලැබිලා තියෙන්නෙ ප්‍රංශ දේශ ගවේෂකයින් එය සොයා ගනිද්දී එම ප්‍රදේශයේ සිටි ස්වදේශිකයින් සිහි වෙන්නයි. වර්ග කිලෝමීටර 59 590 ක විශාලත්වයෙන් යුත් මේ විලෙන් වර්ග කිලෝමීටර 36,010 ක් ඔන්ටාරියෝ පලාතට අයත් වෙනවා. සානියා (Sarnia) නගරය හැරුණාම මේ විලේ වෙරළ තීරයේ බොහෝ කොටස් ජන ශුන්‍ය රක්ෂිත හෝ පෞද්ගලික ඉඩම් වලින් මායිම් වෙනවා . මේ විලේ උතුරු ප්‍රදේශයට අපි තවමත් සංචාරය කර නැහැ. ඒ ප්‍රදේශ වල සංචාරයක් කල අවස්ථාවක ඒ ගැන සටහනක් එක් කරන්නම්.
විලේ නැගෙනහිර කොටසේ හියුරන් විලේ සීතල විදින්නට පුළුවන් ප්රධාන වෙරළ තීර කිහිපයක් තිබෙනවා . The Pinery, Macgregor Point,Wasaga Beach, Grand bend, Sauble Beach, Killbear මේ අතර ප්රමුඛත්වය ගන්නවා . මේ අතරින් වැඩි දෙනෙකුගේ කැමැත්තට අපි වැඩිපුර යන්නේ Sauble Beach එකටයි . ඒ එහි වෙරළ තීරය පලල් හින්ද කට්ටියට හොදින් එකතුවෙන්න ඉඩ තියෙන නිසා සහ සෑහෙන ඉඩක් තියෙන නොගැබුරු දියතලය පහසුවෙන් නාන්න ඉඩකඩ සලසන හින්ද .
Pinery Provincial Park
කිලෝමීටර 10 ක් දිගට විහිදෙන වෙරළ තීරයක් තිබෙන මේ උද්‍යානය National Geographic සගරාව කියන විදිහට ලෝකයේ හිරු බැසීම බලන්නට පුළුවන් ලස්සනම තැන් 10 න එකක් . මනරම් වැලි කදු රැසක් තිබෙන මෙහි කිලෝමීටර 14 ක බයිසිකල් මං පෙත්, වගේම ඇවිදින මංපෙත් 10 ක් තියෙනවා. ශීත කාලයට හිම මත ලිස්සා යන්නට මෙහි සකස් වෙන පාලිත හිම මංපෙත් කිලෝමීටර 38 ක් දිගයි
.
ඔබ මෙහි කදවුරු බිමක් හෝ RV Motorhome ජංගම නිවාස ඉඩක් වෙන් කර ගත්තොත් ශාක විශේෂ 800 ක් පමණ වගේම කුරුළු විශේෂ 300 කට වැඩි ගනනක් දකින්නත් පුළුවන්. දින කිහිපයක් කදවුරු බිම් හෝ ජංගම නිවාස වල පරිසරය විදින්නට ගත්තොත් ඒ සදහා අවශ්‍ය වැසිකිළි, නාන කාමර සහ මල ද්‍රව්‍ය බැහැර කරන පහසුකම්, ජලය සහ විදුලිය පහසුකම් මෙහි හොදින් තිබෙනවා. ඉඩ කඩ සීමිත හින්ද කලින් අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී වෙබ් අඩවියට ගියොත් පහසුවෙන් ඉඩක් වෙන් කර ගන්න පුළුවන්.
( Day use Area ) දින පහසුකම් තිබෙන පරිශ්‍ර සුරතල් සතුන් ( Pet friendly ) සදහා පහසුකම් ඇති සහ නැති ලෙසින් වෙන්කර තිබෙනවා. ඒවායේත් මේස, කෑම සකස් කර ගත හැකි තැන් , ජලය සහ වැසිකිළි පහසුකම් සහ රථ ගාල් මනා ලෙස සකස් කර තිබෙනවා. මේ උද්‍යානයේ තිබෙන වගුරුබිමේ සකස් කර තිබෙන ඇල මාර්ගයේ ඔබට කුලියට ගත් Canoe, Paddleboat, Single or Double Kayak පදින්න පුළුවන්. බයිසිකල් මංපෙත් වල යන්නට සාමාන්‍ය, ද්විත්ව සහ විදුලි බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්.
https://www.ontarioparks.com/park/pinery
Macgregor Point Provincial Park
කිලෝමීටර 7 ක් දිග වෙරළ තීරයක් තිබෙන මේ උද්‍යානය මනා ජෛව විවිධත්වයකින් යුතු එකක්. කදවුරු බිම්, RV Motorhomes ජංගම නිවාස සදහා මෙන්ම දිනක කෙටි වෙරළ සංචාරයකට අවශ්‍ය මේස, කෑම පිසීමේ පහසුකම්, ජලය සහ වැසිකිලි පහසුකම් සහිත මෙහි සුරතල් සතුන් සමග මෙන්ම සුරතල් සතුන් සදහා පහසුකම් නැති පරිශ්‍ර තිබෙනවා. ප්‍රදේශයට ආවේණික සුවිශේෂ ශාක මෙන්ම ඉබි විශේෂත් මේ උද්‍යානයේ ඉන්නා හින්ද ඔබට මේ පරිශ්‍රය සතුටින් ගත කරන්නට පුළුවන් තැනක්.
ඉඩ කඩ සීමිත හින්ද කලින් අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී වෙබ් අඩවියට ගියොත් පහසුවෙන් ඉඩක් වෙන් කර ගන්න පුළුවන්.
https://www.ontarioparks.com/park/macgregorpoint
Killbear Provincial Park
මේ උද්‍යානයේ නම් දිගු වෙරළ තීරයක් දකින්නට නැහැ. ගල්පර ගහණ මෙතැනට බොහෝ දෙනෙක් යන්නෙ ගල් උද ඉදන් වතුරට පනින්න. ඒ වුණත් තැනින් තැන වෙරළ කොටස් තියෙනවා. විදුලිය සහිත සහ රහිත කදවුරු බිම් වගේම රේඩියෝ සහ ශබ්ද වලින් නිදහස් කදවුරු බිම්, ජංගම නිවාස සදහා අවශ්‍ය සියළු පහසුකම් මෙහි තිබෙනවා. ගල් සහිත කුඩා දූපත්වල තිබෙන පයින් ගස් බලන්න හරිම ලස්සනයි. ඇවිදින්න, බයිසිකල් පදින්න කිලෝමීටර 6 ක් දිග මංපෙත් මේ උද්‍යානයේ තිබෙනවා.
උද්‍යාන බලපත්‍ර, වැඩි විස්තර සහ පහසුකම් වෙන්කරවා ගැනීම් සදහා ඔන්ටාරියෝ උද්‍යාන වෙබ් අඩවියට යන්න.
https://www.ontarioparks.com/park/killbear
Wasaga Beach
කිලෝමීටර් 14 ක් දිගට විහිදෙන Wasaga Beach වෙරළ ලෝකයේ දිගම Freshwater Beach විදිහට වාර්තාගත වෙනවා . බොහෝ ක්රියාකාරකම් කරන්නට පුළුවන් මේ වෙරළ තීරය ටොරොන්ටෝ
සහ තදාසන්න නගර වලට කිට්ටු හින්ද ගිම්හානයේදී හැමදාම කාර්ය බහුල වෙනවා
මේ උද්‍යානය තුල කිලෝමීටර 50 ක් දිග ඇවිදින සහ බයිසිකල් මංපෙත් තිබෙනවා. ශීත කාලයට ඉන් කොටසක් Ski සදහාත් භාවිතා කරන්නට පුළුවන්. 2012 දී ඉදිකෙරුණු තොරතුරු මධ්‍යස්ථානය 1812 යුධ මතක සේම ප්‍රදේශයේ පාරිසරික සහ සංස්කෘතික වටිනාකම් දක්වනවා. මේ උද්‍යානය Blueflag ජාත්‍යන්තර තත්ව සහතිකය හිරකර ගත් පළමු පළාත් උදයානයද වෙනවා.
https://www.ontarioparks.com/park/wasagabeach
Sauble Falls Provincial ParkSauble Beach Day use Area
Huron විල ආශ්‍රිතව තිබෙන තවත් ජනප්‍රිය වෙරළ තීරයන් කිහිපයක් ....
Providence bay Beach
Awenda Provincial Park
Sturgeon Bay provincial Park
SouthHampton Beach
Kincardine's Station Beach
Inverhuron Provincial park
Lion's Head Beach
Grand bend Beach
ඒ කොහොම වුණත් මේ ගමන්වලදී අපට බලපාන ප්රධාන කාරණය වෙන්නේ කාලගුණය තමයි . හොදින් පායලා තියෙන දවසක නම් ටිකක් උදෙන්ම යන්න වෙන්නෙ හොද තැනක් අල්ලගන්න . ඒත් එක්කම දැඩි සුළං තියෙන දවසක් නම් වැලි විසිවෙන හින්ද Barbaque කරන්න එහෙම අසීරු වෙනවා . ඒ හින්ද ඒ වෙනුවෙන් විකල්ප වලට සුදානම් වෙලා යන එක නුවණට හුරුයි .
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
👍👍👍....
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteඔන්ටේරියෝ ඉඳන් විල් දකින්න එපමණ ළඟ නම් ඒ හරියේ නැවතිලා යන එක තමා හොඳ නේද? විල් බලන්න මම කොහොමත් ආසයි
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. පංච මහා විල් අතුරින් කැනඩාවට මායිම් වන විල් හතරම තියෙන්නෙ අපි ඉන්නා ඔන්ටාරියෝ පලාතේ තමයි. පලාත ලොකු හින්ද අපටත් තාම සුපිරියර් විලට යන්න ලැබිලා නැහැ. එය තියෙන්නෙ අපට කිලෝමීටර් 1400 තරම් දුරින් ( පැය 14 ක්) ඒත් අනිත් විල් 3 අසබඩ යම් යම් ඉසව් කිහිපයකට ගිහින් තියෙනවා. අප ඉන්නා නගරයේ කොනක් මායිම් වෙන්නෙත් ඔන්ටාරියෝ විලටයි. ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ ගියොත් සුපිරියර් සහ හියුරන් විලේ ජනශුන්‍ය කොටස් වලට ය යන්න පුළුවන්. හැබැයි ඔන්ටාරියෝ , ඊරි විල සහ නයගරා ඇල්ල බලන්න නම් ටොරෝන්ටෝවට ගුවන් මගින් එන්න වෙනවා. ජන ගණත්වය වැඩි හින්ද ඔන්ටාරියෝ විල අද්දර නම් තියෙන්නේ ඒ ඒ නගර වලින් පවත්වා ගෙන යන කුඩා උද්‍යාන විතරයි.
Delete