ලන්ඩන් නගර ගමනක මතක
බිග්බෙන් ,ඩබල් ඩෙකර් බස් වගේම අමුතුම හැඩේ කළුපාට ටැක්සිකාර්එංගලන්තයේ ලන්ඩන් නගරයට ආවේණික සුවිශේෂී සංකේත. ඒ වගේම තමයි ලන්ඩන් උමං දුම්රිය. ඒවා ගැන අහද්දී කුඩා කාලේ ඉඳන්ම මම හිටියේ කවදා හරි ඒවා හැබැහින් දැකගන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්. මේ මට හැබෑ කරගන්න පුළුවන් වුනු ඒ හීන ගමනක මතකය ඇසුරින් ඔබව ලන්ඩන් නගරයේ තැන් කිහිපයකට එක්කගෙන යන්නයි මේ සූදානම.
Big Ben
බිග්බෙන් කියන නම ඔරලෝසුවකට ලැබුනෙ හරිම අපූරු විදිහකට. මේ වෙද්දි Elizabeth Tower කියන නමින් හැඳින්වෙන ලන්ඩන් නගරයේ සංකේතයක් බඳු මේ ඔරලෝසු කණුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තිබෙන වෙස් මිනිස්ටර් මාලිගාවේ එක කොටසක්.1834 දී ඇතිවූ ගින්නකින් විනාශ වුණු වෙස් මිනිස්ටර් මාලිගය ප්‍රති නිර්මාණය කළ Charles Barry ගේ අදහසක් අනුව ඉදිවුණු මේ ඔරලෝසු කණුවේ ශිල්පියා Augustus Pugin.
අඩි 316 ක් උස කුළුණේ හතර අතට අඩි 40 ප්‍රමාණයේ මුහුණු ඇති කොරලෝසු හතරක් තියෙනවා. බිග්බෙන් කියලා කියන්නේ මේ ඔරලෝසුවට ඉහලින් තිබෙන සීනු පහෙන් විශාලතම සීනුවටයි. එයට ඒ නම ලැබුණේ කුළුණට නමක් යෝජනා කරද්දි පාර්ලිමේන්තු කතාබහේ කියැවුණු ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධාන කොමසාරිස් Sir Benjamin Hall හින්දා කියලයි කියන්නේ.
හැම විනාඩි පහලවකටම වතාවක් කුඩා සීනු හතර නාද වෙනවා. බිග්බෙන් නාද වෙන්නේ හැම පැයකටම සැරයක් පැයේ අගයට ගැලපෙන වාර ගණන බැගින්. දුර ඈත නගරවල ඉඳන් ලන්ඩන් නගරයට මේ සීනු සහ ඉදිකිරීම් ගෙනා ගමනත් අපූරු එකක්.
2022 දී අවුරුදු හතරක සම්පූර්ණ අලුත් වැඩියාවකට ලක්වුණු මේ කුළුණ දැන් නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විතයි කලින් වෙන් කරවා ගැනීම් කරලා වටේට කරකැවෙමින් යන පඩි පෙළ දිගේ පඩි 334 ක් නැගල ගියහම ඔබට එහි අපූරුව හොදින් විදින්න පුළුවන්.
මේ දිගුව ලිපියට අමුණන්නේ තාක්ෂණික තොරතුරු ඇතුලත් කදිම විස්තර වීඩියෝවක් හින්දයි . ඒත් එක්කම ඔබට කැමතිනම් ඒ ගමනටම වෙස් මිනිස්ටර් පාර්ලිමේන්තු චාරිකාවක් එකතු කරගන්නත් පුළුවන්.
London Eye
බිග්බෙන් නුදුරින් තේම්ස් නදියේ දකුණු ඉවුරේ තිබෙන 2000 වසරේ සිට ක්‍රියාත්මක වන විශාල නැරඹුම් රෝදයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. අංක එකේ සිට තිස්තුන දක්වා ( 13 හැර) විශාල වායු සමනය කල නැරබුම් මැදිරි (කැප්සියුල් ) කැප්සිවුලේ තිස් දෙකක් මෙහි තිබෙනවා. ඒවායින් ලන්ඩනයේ ප්‍රාදේශීය කොට්ඨාශය තිස් දෙක නිරූපණය වන බවයි කියන්නේ. ටොන් දහය බැගින් බර ඒවා පැයට කිලෝමීටර් 0.9 ක වේගයෙන් කරකවන්නේ ඒ විශාල රෝදය සම්බන්ධ කල කණුවට බලය සපයන විශාල මෝටරයකින්.
අඩි 443 ක් උස , අඩි 394 ක විෂ්කම්භය ඇති මේ ෆෙරිස් රෝදය නිර්මාණය කළේ Julian Barfield සහ David Marks මූලිකත්වය ගත් නිර්මාණ සමාගමයි. කාලෙන් කාලෙට විවිධ ආයතනවල හිමිකාරීත්වයට පත්වුණු මේ නිර්මාණය ලන්ඩනයට යන කවුරුත්වගේ අමතක නොකර ගොඩවැදිලා බලන තැනක්. විශාල ජනේල තිබෙන කැප්සිවුල් එකකට නැග්ගාම එය වටයක් කරකැවෙන අතරතුර ලන්ඩනයේ බොහෝ තැන් ඔබට ලස්සනට බලන්නට පුළුවන්. හොඳින් ඉර එළිය තියෙන දවසක දවාලට හවසට වගේම රෑටත් මේ සංචාරය විවිධ අත්දැකීම් මවාවි.
Tower Bridge
ලන්ඩනය හරහා ගලායන තෙම්ස් නදිය මතින් දෙපසට ගමන් ගන්නා වාහන , දුම්රිය සහ මගීන් සඳහා පාලම් විශාල සංඛ්‍යාවක් තිබුණත් ලන්ඩනයේ තවත් සංකේතයක් විදිහට Tower Bridge හඳුන්වන්න පුළුවන්. යටත් විජිත පාලන කාලේ තමන්ගේ පාලනය යටතේ තිබූ ලෝකෙ විවිධ රටවලින් අමුද්‍රව්‍ය ගෙනවිත් එංගලන්තයේ නිෂ්පාදන ඒ ඒ රටවලට යවන ක්‍රමවේදය ක්‍රියාත්මක වුනු කාල සීමාවේ දී තෙම්ස් ගඟ හරහා කෙරුණු නාවික ගමනාගමනය ඉතා වැදගත් සාධකයක් වී තිබුණා.
1886-1894 කාලයේදී Horace Jones සැලසුමකට අනුව John Wolfe Bary මේ පාලම නිර්මාණය කළේ Henry Marc Brunel ගේ උදව්වෙන්.
තවමත් වාහන සහ මගින් විශාල සංඛ්‍යාවක් දිනපතා මේ පාලමේ පහළ කොටස පාවිච්චියට ගන්නවා. මේ වන විට කුලුණු දෙක සහ ඉහළ පාලම සංචාරක කටයුතු සඳහා පමණක් භාවිතා වෙනවා. අදත් පැය විසි හතරකට පෙර දැනුම් දීමක් කලොත් වෙන්කරවා ගත් වේලාවට නාවික යාත්‍රා වෙනුවෙන් පාලම ඉහළට එසවෙනවා. ඒ වගේම වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු බලා ඔබටත් පාලම එසවෙන හැටි, පහත් වෙන හැටි බලාගන්නට පුළුවන්. හයිඩ්‍රොලික් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වුණු මෙය මේ වන විට එසවීම කරන්නේ විදුලිබලය භාවිතයෙන්.
වයස්ගත මේ පාලමේ ආරක්ෂාව වෙනුවෙන් ටොන් දහ අටක බර සීමාවකට සහ කිලෝ මීටර් තිස් දෙකක වේග සීමාවකට යටත්ව වාහන වලට මේ පාලම තරණය කරන්න පුළුවන්.
London Transport Museum
දුම්කෝචි භාවිතයෙන්ම පොළොව යටින් පොදු ප්‍රවාහන සේවයක් 1866 දී ලන්ඩන් නගරයේ පටන් ගනිද්දි බොහෝ දෙනෙක් සැක සංකා පළ කළා. ඒවගේම තමයි Stanislas Baudry තට්ටු දෙකේ අශ්ව රථ හරහා ලොවට දායාද කළ ඩබල් ඩෙකර් බස්. ලෝකයේ හොඳම ප්‍රවාහන සේවාවක් හිමි ලන්ඩනයේදී ප්‍රවාහන කෞතුකාගාරයක් අතාරින්නේ කොහොමද ? අනික් කෞතුකාගාර වල කල් ගත කරන්නට ඉඩක් නොතිබුණ හින්දා අපි ලැබුණු ඉඩේදී ප්‍රවාහන කෞතුකාගාරය බලන්න ගියා.
1980 දී විවිධ ආයතනවලට අයත්ව තිබූ පැරැණි කෞතුක භාණ්ඩ එකතු කරමින් නිර්මාණය වුණු කෞතුකාගාරය තුල ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ අශ්ව රථ සහ බස් රථ තමයි. ඒ අතර ලන්ඩන් ටැක්සියකුත් තියෙනවා. පොළොව යටින් දිවෙන ටියුබ් දුම්රිය පිළිබඳ විස්තර රැසක් සහ නිදර්ශන කිහිපයකුත් මෙතනදී දකින්නට පුළුවන්. ඔබ දැඩි දුම්රිය ලෝලියෙක් නම් ඇක්ටන්වල තිබෙන ඔවුන්ගේ සංරක්ෂණාගාරයට කලින් වෙන් කරවා ගැනීමක් කරලා ගිහින් උමං දුම්රිය සහ සංරක්ෂණය වන ප්‍රවාහනය සම්බන්ධ රථවාහන බොහෝමයක් ඔබට බලන්න පුළුවන්.
ලන්ඩනයේ තවත් තැන් කිහිපයක් එක්ක ලබන මාසයේදී හමුවෙමු.
අනුරුද්ධ වැලිගමගේ
හැමදාමත් වගෙ බොහොම වටිනා ලිපියක් අදත්.
ReplyDeleteස්තූතිය අනුරුද්ධ ඔබට.
ජයවේවා !!!
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteබොහොම රසබර ඒ වගේම ප්‍රයෝජනවත් ලිපියක්.
ReplyDeleteසරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deletehttps://ahasgawwenehalokaya.blogspot.com/2024/02/blog-post_24.html
ReplyDeleteරසික ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteබිග්බෙන් ඒ කතාවනං දැනන් හිටියෙ නෑ.
ReplyDeleteඒ ආරෙ කලු කාර් දකිද්දි නං... අමුතු ගුප්ත, අභිරහස් හැඟීමක් එන්නෙ
නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් ඒ ටැක්සි වගේම පරණ තට්ටු දෙකේ බසුත් වෙනස් ගතියක් මවනවා.
Delete