මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 17, 2023

හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !

 



පංච මහා විල් කියල හදුන්වන විල් 5 න් හතරක්ම කැනඩාවේ ඔන්ටාරියෝ පලාතේ ඉන්නා අපට මායිම් වෙනවා .එයින් සුපීරියර් විල තියෙන්නෙ තරමක් දුරින්. ඒත් හියුරන් , ඊරි සහ ඔන්ටාරියෝ විල් ටොරොන්ටෝවේ ඉන්නා අපට පැය 3 ක් හෝ ඊට අඩු කාලයකින් යන්නට පුළුවන් දුරකින් පිහිටා තියෙන හින්ද අපි අද හිතුවා ඒ ගැන කථාකරන්නකියලා. මීට කලින් රූපණ ගමනක මතකය තුලින් ශීත කාලයේ ඔන්ටාරියෝ විල ගැනත්, කැනඩාවේ රොකී කදු කලාපයේ යෝහෝ, ජෑස්පර් සහ බැන්ෆ් වනෝදයාන ගැනත් කථා කරලා තියෙනවා. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ  වැඩසටහන් බලන්න පුළුවන්.



අද අප කථා කරන්න යන්නෙ  ගිම්හානයට හියුරන් විල ආශ්‍රිතව ඔබට යන්නට පුළුවන් තැන් කිහිපයක් ගැන. අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.



https://rupane.com/2023/06/17/rupane-episode-352-june-17-2023/


මේ වැඩසටහනේ විස්තර සහ දර්ශන යොමුව

ටොබමෝරේ ( Tobermory)

ලෝකයේ ලොකුම මිරිදිය දූපත මැනිටියුලින් දූපත









MS CHI-CHEEMAUN, වාහන සහ මිනිස්සු ගෙනියන පාරුවක්

හියුරන් විල වටේ තියෙන පරිසර සංරක්ෂණ කලාප වල ගිම්හාන කාලයට කදවුරු අත්දැකීමක් ලබන්න ( Camping)

ගිම්හානයේ විවේකී දවසක දවසකට ගිහින් එන්න පුළුවන් වෙරළ තීර කිහිපයක්ම හියුරන් විල වටේ තියෙනවා

Pinery



Grand Bend

Wasaga

Sauble

විශේෂයෙන්ම තරුණ උදවිය ගල් තලාවේ ඉදන් වතුරට පනින එක මෙතැන සුලබ දසුනක් . Killbear Provincial Park

********************************************

ඉදිරිපත් කිරීම  - අනුෂා කිංස්ලි 

සම්පත් දායකත්වය -

අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

******************************************************************************

කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....


http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html

ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

Saturday, June 10, 2023

වායු දූෂණය , ලැව් ගිනි සහ කැනඩාව

 



සාමාන්‍යයෙන් මම මේ වගේ කාලීන සටහන් ලියන්නෙ අඩුවෙන්. මේ සතියේ පලකරන්නට හිතන් හිටි සටහන අයින් කරලා වෙනස් එකක් එකතු කරන්නයි හිතුවෙ ඒ නිසයි . ටොරොන්ටෝව අවට නගරයක ජීවත්වන මට මේ සතියේ ගෙදරදීත් රැකියාවට ගිය වෙලාවෙදි ටොරොන්ටෝ නගරයේදීත් දකින්නට ලැබුනෙ නුපුරුදු දුම් වලාවක් හින්ද හරිහැටි ඉර එළිය පොලොවට නොවැටුණු බවයි . මාධ්‍යවලින් වගේම ටොරෝන්ටෝවට උතුරින් නගරවල සිට පැමිණෙන අය කිව්වෙ සමහරුන්ට දර පිලිස්සෙන ගද දැනුනා කියලයි. ඒකට හේතුව ලැව්ගිනි හින්ද ඇතිවුණු දුමයි. 

දුර 

මේ දුම සහ වායු දූෂණයට හේතුව ටොරොන්ටෝවේ සිට සෑහෙන දුරකින් ඔන්ටාරියෝ පලාතේ උතුරු කොටසේ සහ කුවිබෙක් පලාතේ ඇතිව තිබෙන ලැව් ගිනි තත්වයයි. උදාහරණ විදිහට දල වශයෙන් ඔන්ටාරියෝ වේ .Wawa ප්‍රදේශයට ටොරොන්ටෝවේ සිට ඇති දුර  කිලෝමීටර් 925 ක් තරම්. එතකොට කුවිබෙක් පලාතේ Clova ප්‍රදේශය තිබෙන්නේ ටොරොන්ටෝවේ ඉදන් කිලෝමීටර් 800 ක් තරම් දුරින්. මේ ලැව් ගිනි නිසා ඇතිවූ දුම් හුළගත් එක්ක පාවෙලා විවිධ පැති  වලට  ගිහින් මේ වෙනකොටත් කැනඩාවේ සහ ඇමෙරිකාවේ මිලියන ගණනාවක ජනතාවකට වායු දූෂණ අවදානමක් ඇතිකර තිබෙනවා .

 ( කරුණාකර නවතම විස්තර සදහා අන්තර්ජාලය පිරික්සන්න )



https://www.canada.ca/en/services/environment/weather.html

https://www.ontario.ca/page/forest-fires

කැනඩාවේ මධ්‍යම රජය සහ මාධ්‍යය නිරන්තරයෙන් අන්තර්ජාලය සහ විවිධ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන අතරේ එළිමහනේ කරන ක්‍රියාකාරකම් සීමා කර තිබෙන්නේ අවදානම අඩු කර ගන්නයි.


පරිමාව 

ලෝකයේ තෙවන විශාලතම වන ගහණය වන හෙක්ටෙයාර් මිලියන 362 ක් තිබෙන කැනඩාවේ මේ අවුරුද්දේ පහුගිය දිනවල විවිධ පලාත්වලින් වාර්තාවූ ලැව්ගිනි නිසා විනාශ වුණු වනයේ විශාලත්වය හෙක්ටෙයාර් මිලියන 3.3 ක් බවයි කියන්නේ . කැනඩා රජය තම සම්පත් වලට අමතරව ඇමෙරිකානු , ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ලැව් ගිනි නිවන කණඩායම් සහ සම්පත් යොදාගනිමින් මේ වනවිටත් ඒවා මර්දනය කිරීමේ කටයුතු වල යෙදෙනවා. ඇවිලුණු ලැව් ගින්නක් නිවීම ලේසි වැඩක් නෙවෙයි . ඒ හින්ද බොහෝ විට කරන්නේ ගින්න පැතිර යාම නැවැත්වීමයි. ඊට අමතරව උණුසුම් වෙමින් ඉදිරියේදී ගිනි ගැනීමේ අවදානම ඇති වෙනත් වනාන්තර කොටස් කෙරෙහිත් මේ මෙහෙයුම් වල යෙදෙන පිරිස් නිරන්තර ඇස යොමාගෙන ඉන්නවා. කැනඩා රජයේ ඉල්ලීම අනුව මේ විෂය ප්‍රවීණ සම්පත් ඇති තවත් රටවල් රැසක් ඉදිරියේදී මේ මෙහෙයුම් වලට තම සම්පත් යොදවාවි.

මේ වන විට ගිනි ගනිමින් පවතින ප්‍රදේශ මේ දිගුවෙන් දැනගන්න පුළුවන්.

 https://www.lioapplications.lrc.gov.on.ca/ForestFireInformationMap/index.html?viewer=FFIM.FFIM 


      ලැව් ගිනි ඇතිවන්නේ ඇයි ?

අකුණු , වේගයෙන් පරිසරය උණුසුම් වීම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලැව් ගිනි ඇතිවන අතරේ වැලැක්විය නොහැකි ස්වභාවික හේතු අතරේ වැලැක්විය හැකි මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ලැව්ගිනි 40% ක තරම් අගයක් ගන්නා හින්ද ඒ සම්බන්ධ දැඩි නීති රීති පනවා තිබෙනවා. ඒ හින්ද වනයේ විවිධ කටයුතු සදහා අවසර ලබා ගන්නා අය ඒ ඒ ආයතන ලබාදෙන උපදෙස් හරිහැටි කියවන එක හොදයි. මෙවර ලැව්ගිනි පැතිරීමට හේතු වී තිබෙන්නේ හදිසියේම වියැළුණු පොලොවේ තිබෙන ගස් දර මෙන් ක්‍රියාකරද්දී ඉහලින් ගමන් ගන්නා අධි පීඩිත උණුසුම් වායුධාරා ඉතාමත්ම උණුසුම් වීම හින්දයි. ඒක හරියට වියලි ලී කැබලි එකට ඇතිල්ලීමෙන් ගින්දර උපද්දවනවා වගේ දෙයක්. ගස් එකට අතුල්ලන්නටත් , ගින්න පතුරවන්නටත් වේගයෙන් හමා යන හුළග සෑහෙන දායකත්වයක් දෙනවා.  

ලැව් ගිනි කලාප 

කැනඩාවේත් වන ගහණය අධික බ්‍රිටිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා පලාත්වල හැම අවුරුද්දෙම වගේ ලැව් ගිනි ඇතිවෙනවා. ඉන් කිහිපයක්ම මමත් මගේ සංචාර වලදී දැක තිබෙනවා. ගිනි ගන්නා වනය යම් දුරක සිට වගේම දැවී විනාශ වුනු කැලෑ සහ ගුවනින් ලැව් ගිනි නිවන මතක ඒ අතර තිබෙනවා. වරක් අපි යම් ගමනක් යද්දී යන්තමින් ඇවිලෙමින් තිබුණු කැලයක ගින්න පැතිරුණු හින්ද අප ගිය මාර්ගය වසා දැමුනා. අවසානයේදී අපට අමතරව කිලෝමීටර 300 ක් විතර වටයක් ගහලා ආරක්ෂිත විකල්ප මාර්ග වලින් එන්නයි සිදුවුනේ. 

මූලික නීතිය 

කැනඩාවේ පදිංචි කරුවෙකු  හෝ පුරවැසියෙකු විදිහට ලැව්ගිනි ඇතුළුව කිසියම් අසාමානයය සිදුවීමක් දුටුවොත් අදාල අංශ වලට දැනුම් නොදීම වගේම නිසි නීති රීති උපදෙස් පෞද්ගලික හෝ ව්‍යාපාර මට්ටමෙන් පිලි නොපැදීම වගකීම් පැහැර හැරීම් යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්.

ආයෙමත් ඒ කැලෑ වැවෙන්න කොච්චර කල් යනවද ?

ස්වභාවිකව වැවුණු කැලෑ ලැව් ගිනි වලින් විනාශ වුනාම ආයෙමත් ඒවා ඒ තත්වයට පත් නොවෙන්නත් පුළුවන් . සමහරවිට ඒ සදහා අවුරුදු 30 ඉදන් සිය ගණනක් කල්ගත වෙන්නත් පුළුවන්. ඒකට හරි උත්තරයක් නම් නැහැ.

මේ ගිම්හානය 

මේ ලැව් ගිනි හින්ද වන කාලගුණික වෙනස්කම් හින්ද මේ අවුරුද්දෙ කැනඩාවේ මුළු ගිම්හාන කාලයම වෙනස් වෙන්න පුළුවන් . ඒ හින්ද මේ අවුරුද්දෙ කැනඩාවෙ කොහේ ගියත් තොරතුරු වලින් සන්නද්ධ වෙලා දැනුවත් අය කියන උපදෙස් අකුරටම පිලිපදින එක වටිනවා .   


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

Saturday, June 3, 2023

පිනි කිනිත්තක් හැඩවෙලා ...

 



සීතලම සුන්දරම දවසක , පිනි කිනිත්තක් හැඩවෙලා 

පොරෝගෙන එන හීතලෙන් , ගුලිවෙලා යලි ගුලිවෙලා 

තුරුළු වුණු ආදර හැගුමකින් , මතක ඇත යලි ගුලිවෙලා ....



ගැලවිලා කොල ගැලවිලා, කැලැන්ඩර් පිටු ඉගිලිලා 

ආයෙමත් ඒවිද ඇවිදගෙන , තුරුණු විය යලි පියඹලා 

යන්න ඒ සොදුරුම අතීතෙට, යමුද අපි අත් අල්ලලා 


සුසුදු සුසිනිදු මුව පුරා, විසිරි විසිරුණු මල් හිනා 

හෙටත් උදයම පුබුදුවන්නට, සලනු මැන ඒ මල් හිනා 

ජීවිතේ පිණි මල් වහින්නට, පැතුම් ගෙනඑයි වාසනා .....


අනුරුද්ධ වැලිගමගේ













2023 ජූනි   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

                         විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

Saturday, May 27, 2023

චිත්‍රපට ඇසුරින් ලෝක සවාරියක්

 


චිත්‍රපට බලන සිනමා ලෝලියෙකුට භාෂාව නොතේරුණත් ඒ හරහා ලෝකෙ වටේ යන්න පුළුවන්. ඒ ඉංග්‍රීසි උප සිරැසි  සහිතව වෙනස් භාෂා වලින් නිමැවුණු චිත්‍රපට බලන ගමන්. ඒ ඒ චිත්‍රපට හරහා ලෝකයේ භූගෝලීය වශයෙන් වෙනස් කලාප වලදීත් මිනිසුන් විදිහට අප එකට අත්විදින දුක, සැප බෙදාගන්න අපට පුළුවන්.  

 


The Miracle ( Mucize) - Turkish   (2015)

පවුලේ විරෝධය මැද්දෙ 1961 දී පාසල් ගුරුවරයෙකු වුනු මාහිර් නැගෙනහිර තුර්කියේ කදු අතර තිබෙන ඈත පිටිසර කුර්දීෂ් ගමකට පත්වීම් ලබා යනවා. ඒ ගමට යන්නට තියෙන්නේ දුම්රියෙන් ගිහින් දුෂ්කර පා ගමනකට පස්සෙ. පිටින් නිතර පිරිස් නොඑන ඒ ගම්මානවලට ආගන්තුකයින් නුහුරුයි . ඔහු පාසැලට අළුතින් එන ගුරුවරයා බව නොදැන ගම්මු ආයුධ සන්නද්ධව පැමිණ ඔහුව වටකරනවා. බියට පත් වුණත් ඔවුන් ආසාවෙන් ඔහුව පිලිගන්නවා.

පාසැලක් වෙනුවට මාහිර්ට දකින්නට ලැබෙන්නේ ගරා වැටුණු ගොඩනැගිල්ලක් විතරයි. තමන්ව ප්‍රාණ ඇපයට තියාගෙන කප්පම් ඉල්ලනවා කියල නගරයේ ඉන්න නෑදෑයින් ගෙන් ඔහු යම් මුදලක් ගෙන්වා ගන්නෙ පාසැල ගොඩනගන්නයි. ඒ වෙනුවෙන් ගමේ හැමෝගෙම උදව් ගන්නත් මාහිර් සමත් වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් එතරම් උනන්දුවක් නොදක්වන මේ ගමේ දරුවන් කිහිප දෙනෙක් එකතු කරගෙන මාහිර් ආයෙමත් ඉස්කෝලෙ පටන් ගන්නවා. ඒ අතරෙ ආබාධිතයෙක් වන ගමේ ප්‍රධානියා ගේ පුතා අසීසුත් ඉන්නවා. 

විවාහ විය යිතු වයසේ හිටියත් අසීස්ට තමන්ගේ දුවව බන්දලා දෙන්න කවුරුත් අකමැති වෙන්නෙ ඔහුගෙ ආබාධිත තත්වය හින්ද. ඒ අතරෙ අසීස්ගෙ තාත්තා මරණයෙන් ජීවිතය බේරලා දෙන මිනිහෙක් ඒ වෙනුවෙන් තමන්ගේ දියණිය මිස්ගින් ව අසීස් ට විවාහ කරලා දෙන්න කැමති  වෙනවා.  මුලින් මිස්ගින් අසීස්ට අකමැති වුනත් කල් යනකොට ඇය ආදරයෙන් සලකනවා. ගැමියන්ගේ උසුළු විසුළු මැද්දේ ජීවිතයට එන කරදර හින්ද ඔවුන් දෙදෙනා ගමෙන් යන්නේ ආපසු එන බවට මාහිර්ට ලියුමක් ලියල තියලයි. 

පවුලේ බලකිරීම හින්ද ආපහු නගරයට යන මාහිර් හත් අවුරුද්දකට පස්සෙ ආයෙමත් අර ගමට එනකොට ඒ ගම වෙනස්වෙලා. ඉස්සර වගේ දැන් ගමට පයින් යන්න ඕනෙ නැහැ. ගමට වාහනයකින් යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ වගේම ඔහුට දකින්නට ලැබෙන්නෙ දරුවන් පිරිවරාගෙන සතුටින් ඉන්න අසීස් සහ මිස්ගින් යුවලයි.

අපි කවුරුත් ආසකරන චින්ගීස් අයිත්මාන් ගේ පොත ඇසුරින් නිමැවුනු ගුරු ගීතය චිත්‍රපටයේ (The First Teacher )  යම් ලකුණු මේ චිත්‍රපටයේ පෙනෙන්නට තියෙනවා. 


2019 දී මෙහි දෙවන කොටස විදිහට තවත් චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා.   

වැඩි විස්තර සදහා  IMDB යොමුව  …..

https://www.imdb.com/title/tt3138782/

 Trailer  යු ටියුබ් දිගුව  


 


 





 English Vinglish - Hindi (2012)

ශෂී කියන්නෙ ලඩ්ඩු කියන රසකැවිලි හදන සුළු ව්‍යාපාරයක් කරන ඉන්දීය ගෘහණියක්. ඇගේ සැමියා කාර්යාලයක රැකියාව කරන කෙනෙක්. ඇගේ දුව සප්නා, පුතා සාගර්. ඉංග්‍රීසි ගැන කථා කරන හැම වෙලාවකම සප්නා ගේත් , සතීෂ් ගේත් සමච්චලයට ලක් වෙනවා. ශෂී ගේ වැඩිමල් සොයුරිය මනු ඉන්නෙ ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරයි. ඇගේ වැඩිමහල් දියණිය මීරා ගේ විවාහ උත්සවයට උදව් වෙන්න කියල කල ආරාධනාවකට අනුව ඇය සති 5 කට කලින් නිව්යෝර්ක්  බලා යනවා. රැකියාව හින්ද සතීෂ්ට වගේම ඉස්කෝලෙ හින්ද සප්නා සහ සාගර්ට කලින් යන්න බැරි හින්ද ඇය ඒ ගමන යන්නෙ තනිවමයි.ගුවන් යානයේදී කල කතාබහකදී මගියෙක් ඇයට අවවාද දෙන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලයි. 

  කාටත් හොරා දැන්වීමකින් තොරතුරු හොයාගෙන ඇය සති 4 න ඉංග්‍රීසි උගන්වන නිව්යෝර්ක් පන්තියකට යන්නේ තමන්ගේ ව්‍යාපාරයෙන් උපයා තිබුණු මුදල් ගෙවමින් . නුපුරුදු නගරයේ ඇගේ පන්තියේ ඉන්නේ මෙක්සිකන් ගෘහ සේවිකා ඊවා, පකිස්ථාන් ටැක්සි රියැදුරු සල්මන්, චීන කොණ්ඩා මෝස්තර ශිල්පිනී යූ, දෙමළ පරිගණක මෘදුකාංග ඉංජිනේරු රාමමුර්ති, අප්‍රිකානුවෙකු වූ උඩුම්කේ සහ ප්‍රංශ සූපවේදී ලොරෙන්ට්. ඔවුන්ගේ ගුරුවරයා ඩේවිඩ්. ගෙදරට හොරා කට්ටිය වැඩට යන අතරේ පන්ති යන ශෂී ගේ පන්තිය ගැන දන්නේ මනු ගේ පොඩි දුව රාධා විතරයි. එය ගෙදරට නොකියන ඇය ශෂි ට උදව් කරනවා.    


 පන්තියේ අවසානයේ තිබෙන කථන පරීක්ෂණයට ශෂිට යන්න බැරිවෙන්නෙ කලින් එනවා කියූ දවසට කලින් පවුලේ අය නිව්යෝක් ආපු හින්දයි. මේ අතරෙ රාධා ශෂි ගේ ඉංග්‍රීසි පන්ති ගුරුවරයාටත් සිසුන් පිරිසටත් අක්කාගේ විවාහ උත්සවයට ආරාධනා කරනවා. ඒ වගේම මගුල් ගෙදරදී ශෂිගෙ කතාවක් මගුල් ගෙදර වැඩසටහනට එකතු කරනවා. ඉංග්‍රීසි කථාකරන පිරිමියෙක්ව කසාද බදින මේ මගුල් ගෙදරදී ඉංග්‍රීසි නොදන්නා ශෂි කොහොම කථා කරාවිද කියල හැමෝම පුදුමයෙන් බලන් ඉන්නවා. ඒ හැමෝම මවිත කරමින් ශෂී ලස්සන කථාවක් කරන්නෙ නව යුවලට යහපත් විවාහයකට ඔවදන් දෙමින්. කථාව අහල ඩේවිඩ් ඉංග්‍රීසි සහතිකය දෙනවා. ශෂී විවාහක කාන්තාවක් බව නොදැන ඇයට පෙම් කල ලොරේන්ට ඇය ස්තුතිවන්ත වෙනවා.

මේ කථාව බලද්දී 1970 දශකයේ අග භාගයේ එංගලන්තයේ නිෂ්පාදිත Mind your Language රූපවාහිනී කථා මාලාව සිහියට නැගෙනවා. 

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/English_Vinglish

 Trailer  යු ටියුබ් දිගුව    






Under The Tuscan Sun - English (2003)

සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඉන්නා ෆ්රැන්සස්  නම් කතුවරිය විවාහය දෙදරා යාමත් එක්ක මානසික ආතතියකට පත්වෙනවා.ඇගේ හොදම මිතුරිය පැටී මේ වෙනකොට ඉන්නෙ ග්‍රීසියේ. ඇය ගැබිනියක් නිසා කලින් වෙන්කරවා ගෙන තිබුණු ඉතාලි බස් සංචාරයකට ඇය වෙනුවට  ෆ්රැන්සස් ට යන්නට කියන්නේ ජිවිතයට වෙනසක් වෙන්නයි. මුලින් අකමැති වුනත් ෆ්රැන්සස් ඒ අදහසට එකග වෙලා ගමනට එකතුවෙනවා.

මේ සංචාරය අතරේ ඉතාලියේ  Tuscany ප්‍රදේශයේ ගමන් කරද්දී Cortona නගරයේ විලා එකක් විකිණීමට දාල තිබුණු දැන්වීමක් දකිනවා. ගමන යන අතරමගදී බැටළු රංචුවක් පාර පනින වෙලාවෙදි බස් එක හරියටම නතර වෙන්නෙ ඒ විලා එක අද්දර. ඇය රියැදුරාට දන්වා බසයෙන් බහින්නේ හිත යමක් කියූ හින්දයි. අවසානයේදී ඇය ඒ නිවස මිලදී ගන්නවා.

ගෙදර අලුත්වැඩියා කටයුතු සදහා ඇයට උදව් වෙන්නේ එවැනි කටයුතුවල යෙදෙන පෝලන්ත සංක්‍රමණිකයින්. ඒ අතර අසල්වැසියන් එක්ක මිතුරු වන ඇය බලන්නට අල්ලපු ගෙදර තරුණියත් නිතර ඇගේ ගෙදරට එනවා යනවා. ෆ්රැන්සස් ගේ ගෙදර අලුත්වැඩියා කටයුතු වලට එන පිරිස අතරේ ඉන්නා පවෙල් එක්ක අල්ලපු ගෙදර තරුණිය පෙමින් බැදෙනවා. දෙමාපිය විරෝධතාවන් සමනය කරලා ඔවුන්ට කසාදයට උදව් කරන  ෆ්රැන්සස් විවාහ උත්සවය සදහා තම විලා එක ලබා දෙනවා.  

 ඒ විවාහ උත්සවයට එන එඩ් නම් ඇමෙරිකානු කතුවරයා මින් පෙර නවකථාවක් සංස්කරණයේදී ඇය උදව් කල කෙනෙක් . ඔවුන්ගේ යලි හමුවීම ප්‍රේමයක් බවට හැරෙනවා.  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Under_the_Tuscan_Sun_(film)

 Trailer  යු ටියුබ් දිගුව    



 

303 - German (2018 )


 ජූලි තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. මේ අධ්‍යන වාරය ඉවරවුනා විතරයි. ඇය සැක කරන්නේ ඇය ගැබ්ගෙන ඇති කියලයි. ඇගේ පෙම්වතා දැන් ඇය සමග වැඩි කතාබහක් නැත්තේ පෘතුගාලයේ ඉන්නා හින්දයි. ඇගේ මව කියන්නේ දරු ගැබ් නැති කර ගන්න කියලයි . එයට කැමති නැති ඇය පෘතුගාලයේ ඉන්නා ඔහු හමුවී මේ ගැන කථා කරන්න හිතනවා.ජර්මනියේ බර්ලින් නගරයේ ඉදන් ඇය මේ ගමන යන්නේ මර්සිඩීස් හයිමර් 303 වර්ගයේ මෝටර් රථ නිවහනකයි.( RV- Motorhome ). මගදී ඇගේ වාහනයට අත දාන්නේ ජෑන් නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා. බර්ලින් වල ඉදන් ස්පාඤඤයට ඔහු යන්නට බලාපොරොත්තු වන්නේ ජීව විද්‍යාත්මක තාත්තාව හමුවන්නයි. 

මුලින් ගමන යද්දී ඇතිවන මත ගැටුමක් හින්ද ජූලි ජෑන්ව මග දාල යනවා. ට්‍රුක් රථ රියැදුරෙකු සමග ආයෙමත් ගමන යද්දී අධිවේගයේ රාත්‍රී දුර ගමන් නැවතුම් පලකදී අතවරයකට ලක්වන ජූලි ව ඉන් බේරාගන්නේ එතැනට අහම්බෙන් ට්‍රක් එකෙන් ඇවිත් ඉන්නා ජෑන්. ඉන් පස්සෙ ජෑන් ට්‍රුක් රියැදුරාට ස්තුති කරලා ආයෙමත් ජූලි එක්ක ගමනට එකතු වෙනවා. දින ගණනක් රටවල් ගණනාවක් හරහා ගමන් ගන්නා ඔවුන් මේ ගමනේදී පරිසරය රස විදිමින්, ජීවිතය බෙදා ගනිමින් , විවිධ මාතෘකා ගැන කතාකරමින් යද්දී නොදැනීම ඔවුන් එකිනෙකාට ආදරය කරන්නට පටන් ගන්නවා.

ඉතා දර්ශනීය වෙරළ තීර, ඉර නැගීම සහ බැස්මේ මනරම් දසුන් රැසක් මේ නිර්මාණයට එකතු කර තිබෙනවා. ඒ වගේම ඇය මේ ගමනේදී කරන වෛද්‍ය පර්යේෂණයකින් ඇය ගැබ්ගෙන නැති බවත් තහවුරු වෙනවා. ජූලි ට ඇගේ කලින් පෙම්වතා හමුවේවිද ?. ජෑන් තමන්ගේ ජීව විද්‍යාත්මක පියා හමුවී කියන්නේ මොනවාද කියල දැනගන්න නම් මේ චිත්‍රපටය අන්තිම වෙනකම් නොඉවසිල්ලෙන් බලන්න වෙනවා.     

වැඩි විස්තර සදහා IMDB යොමුව  …..

https://www.imdb.com/title/tt5451118/

 Trailer  යු ටියුබ් දිගුව  




 

Sita Ramam - Telugu (2022 )

1964 දී පාකිස්තානු අන්තවාදී අන්සාරි කාශ්මීරයේ සුහදව වෙසෙන මුස්ලිම්වරු සහ හින්දූන් අතර ගැටුමක් නිර්මාණය කරන්නේ  මායිම් ගම්මානයේ වෙසෙන තරුණයින් පිරිසක් උසි ගැන්වීමෙන්. 

1985 දී ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකදී දැඩි මතවාදී අෆ්රින් ඉන්දීය දානපති ආනන්ද් ගේ මෝටර් රථය ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලබනවා. උප කුලපති තුමා කියන්නේ කල වරදට ආනන්ද් ගෙන් සමාව ඉල්ලීම හෝ වන්දි වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් මසක් ඇතුලත නොගෙව්වොත්  ඇයට සිරගත වන්නට සිදුවන බවයි. සමාව ඉල්ලන්නට අකමැති ඇයට සැනකින් මතක් වෙන්නෙ විශ්‍රාමික හමුදා බ්‍රිගේඩියර් වරයෙකු වන ඇගේ සීයාව. මුදල් ඉල්ලා ගන්නට කරච්චි නුවරට යන ඇයට දැනගන්න ලැබෙන්නේ දින කිහිපයකට පෙර සීයා මිය ගිය බවයි. සීයා ඔහුගේ අන්තිම කැමති පත්‍රය ලියා තිබෙන්නේ ඇයටයි. ඒත් එය ලබාගන්නට නම් හිටපු ඉන්දීය හමුදා ලුතිනන් රාම් ගේ ලියුමක් ඉන්දියාවේ හයිදරාබාද් හි වෙසෙන සීතා මහාලක්ෂ්මි වෙත ගෙන යා යුතුයි. 

අකමැත්තෙන් වුනත් අෆ්රින්ට ඉන්දියානු මිතුරු බාලාජි මාර්ගයෙන් සීතා සොයන්නට වෙනවා. ඒ කාර්යයේදී සිදුවන සිදුවීම් දාමය ඉතිහාසය සහ වර්තමානය ගැට ගස් වමින් පැටළුණු විශාල නූල් බෝලයක් වගේ සිදුවීම් රැසක් හෙලිදරව් කරනවා. මේ කලබගෑනි මැද්දේ ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ලස්සන තැන් රැසක් ඔබට දකින්නට පුළුවන්.

අවසානයේදී අෆ්රින් , ආනන්ද් මෙහෙතාගෙන් සමාව ගන්නා හින්ද මුදල් ගෙවන්නත්, නඩු යන්නත් අවශ්‍ය වන්නේ නැහැ. ඇගේ තොරතුරු හෙලිදරව්ව නිසා පාකිස්ථානයේ සිටි යුධ සිරකරුවන් 18 දෙනෙකුත් නිදහස් කෙරෙනවා.       

                      

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Sita_Ramam

 Trailer  යු ටියුබ් දිගුව    


   

       සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.